වර්තමාන ජනාධිපති කුමාර දිසානායක ප්‍රතිශතයක් ලෙස ඡන්ද 42% ක් ලබාගෙන මැතිවරණය ජයග්‍රහණය කළ අතර පිළිවෙලින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 33%ක්ද, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 17%ක්ද ලබාගෙන දෙවන සහ තුන්වන ස්ථාන හිමිකර ගන්නා ලදී. හතරවන ස්ථානය 2.5%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ හිමිකර ගත්තේ ය.
මෙම අපේක්ෂකයින් සිව් දෙනා පිළිබඳවම සැලකීමේදී ඉතාම ස්ථාවර ඡන්ද පදනමක් හිමි කරගෙන සිටින අපේක්ෂකයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි. මන්ද සජිත් ප්‍රේමදාසගේ ඡන්ද ප්‍රතිශතය සැලකීමේදී 2019 ජනාධිපතිවරණය, සජිත් ප්‍රේමදාස ප්රමුඛ සජබය 2019 මහ මැතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රතිශතය, 2024 ජනාධිපතිවරණයේදී ලබාගත් චන්ද ප්‍රතිශතය, 2024 මහ මැතිවරණයේ දී ලබා ගත් ඡන්ද ප්‍රතිශතය, 2025 පළාත් පාලන මැතිවරණය යන සෑම මැතිවරණයකදීම සජිත් ප්‍රේමදාස හෝ ඔහු නායකත්වය ලබාදුන් පාර්ශවය ලබාගත් ඡන්ද ප්‍රතිශත වල 18%කට වැඩි වෙනසක් සිදුවී නොමැති නිසා වේ.
දැන් අපි වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඡන්ද පදනම පිළිබඳ සලකා බැලුවහොත් එය සම්පූර්ණයෙන්ම පාහේ ඒ මොහොතේ ඇති වූ රැල්ල මත නිර්මාණය වූවක් බව පෙනේ. ඔහු 2019 ජනාධිපතිවරණයේදී 3%ක ඡන්ද ප්‍රතිශතයකට හිමිකම් කියූ අතර 2024 ජනාධිපතිවරණයේදී 42%ක් ලබා ගත් අතර 2024 මහ මැතිවරණයේදී ඔහු ප්රමුඛ ජාතික ජන බලවේගය එය 61%ක් දක්වා වර්ධනය කරගනු ලැබුවේ ය. නමුත් ඉන් මාස කිහිපයකට පසු පැවැත්වූ පළාත් පාලන ආයතන ඡන්දයේ දී ලබාගත හැකි වූයේ 41%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. ඒ අනුව අනුර කුමාර දිසානායකට 3% සිට 42% දක්වා වැඩිවීමට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ පොහොට්ටුවෙන් ගැලවුණු ඡන්ද බව සරල බුද්ධියක් තිබෙන ඕනෑම අයෙකුට පවා වැටහෙන කරුණක් වේ.
ඉදිරි ජනාධිපතිවරණයේදී ඉතාම තීරණාත්මක සාධකයක් වන නාමල් රාජපක්ෂ මහතාගේ ඡන්ද පදනම පිළිබඳව මීළඟට සලකා බලමු. 2019-20 කාලය තුළ 50%කට වැඩි ඡන්ද ප්‍රමාණයකට හිමිකම් කියූ පොහොට්ටුවට, නාමල් රාජපක්ෂ යටතේ 2024 ජනාධිපතිවරණයේදී 2.5%ක ප්‍රතිශතයක් හිමිවීමට බලපානු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ යටතේ රට බංකොලොත්භාවයට පත්වීමත්, ඒ හරහා නිර්මාණය වූ අරගලයත්, එමගින් ඔවුන්ගේ ඡන්දදායකයින් විශාල ප්‍රමාණයක් අපේක්ෂා භංගත්වයෙන් යුතුව මාලිමාව දෙසට යොමුවීමත් නිසාවේ. නමුත් 2025 පළාත් පාලන මැතිවරණය වන විටත් එම ඡන්දදායකයින් ක්‍රමයෙන් නැවතත් පොහොට්ටුව දෙසට හැරෙමින් පවතින බවට ජනාධිපතිවරණය හා මා මැතිවරණයට මාස කිහිපයකට පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් 9% කට වැඩි ඡන්ද ප්‍රතිශතයෙන් මොනවට පැහැදිලි වේ.
එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ඡන්ද පදනම සලකා බැලීමේදී පෙනීයන්නේ දක්ෂිණාංශික ඡන්ද දායකයා 2020 මහ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට එදිරිව සම්පූර්ණයෙන්ම පාහේ සජිත් ප්‍රේමදාසව තෝරාගෙන ඇති බවයි. නමුත් 2024 ජනාධිපතිවරණයේදී ඔහු නැවතත් 17%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නේ රට බංකොලොත්භාවයෙන් ගොඩගත් නායකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙනි. එසේ තිබියදී පවා ඔහුට හිමි කර ගත හැකි වූයේ 17%ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් වීමද ජාතික මෙන්ම ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන්ගේද පුදුමයට හේතු විය.
පළමුවෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාව සලකා බලනු ලැබුවහොත්, 2024 ජනාධිපතිවරණයේදී ඔහු ලබාගත් 17%ක ඡන්ද ප්‍රමාණය ගොඩනැගුණේ 2019 ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද 10%ක් පමණක් තමා දෙසට හරවා ගනිමින් සහ පොහොට්ටුවේ කොටසක සහයෝගය නිසා 2019 පොහොට්ටුවේ ඡන්ද වලින් 7%ක පමණ ප්‍රමාණයක් ලබා ගනිමින් බව 2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිශතයන් සහ 2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිශතයන් සලකා බැලීමේදී පැහැදිලි වේ.
මෙම 17% ඉදිරි ජනාධිපතිවරණයේදී කුමක් කරාවිද..? මෙය තීරණය වන්නේ එජාපය සජිත් සමග එක්වනවාද..? තනිවම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාද..? එසේ නොමැති නම් නාමල් ජනාධිපති කිරීමට එක්වනවාද යන්න මතය.
ඒ කෙසේ වුවත් 2019 සජිත් ලබා ගත් ඡන්ද වලින් 2024දී රනිල්ට එකතු වූ 10%ට ආසන්න ප්‍රමාණය සම්බන්ධයෙන් පමණක් ගත විට , ඉතාම ඉහළ සම්භාවිතාවයක් ඇත්තේ නැවතත් සජිත්ට එකතු වීමටය. ඉතිරි 7% එජාපය සන්ධානගතවන ආකාරය අනුව නාමල්ට, අනුරට සහ සජිත්ට බෙදීයා හැක.
2029 ජනාධිපතිවරණයේදී වාමාංශික ඡන්ද කොටස තමාගේ ගොඩට ලබා ගැනීමට විශාලම තරඟය නිර්මාණය වනුයේ අනුර සහ නාමල් අතරය. මන්ද 2025 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සැලකුවද 2019-20දී පොහොට්ටුවට හිමිව තිබූ එම ඡන්ද ක්‍රමයෙන් අනුරට පිටුපා නැවතත් නාමල් දෙසට යොමුවීම ආරම්භ වී ඇති බව පැහැදිලි වේ. 2.5% සිටි නාමල් මාස කිහිපයක් ඇතුළත 9% ඉක්මවා ගියේ එබැවිනි.
මෙම ඡන්ද වාමාංශික ලෙස පමණක් ලේබල් ගැසීම සුදුසු නොවන බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි. මේවා වාමාංශිකත්වයටත් වඩා ජාතිකවාදී, හැඟීම්බර ඡන්ද ලෙස අනන්‍යතාවයක් ලබාගෙන ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ අලුතින් පැමිණෙන ඡන්ද වලින්ද වැඩි කොටසක් මේ ගොඩට වැටීම වළක්වා ගැනීමට නොහැකි වීමද දක්ෂිණාංශික කඳවුරට කලක සිට විශාල අවාසියක් වී ඇත.
අනුර 2024ට පෙර කිසිදු කලෙක ආණ්ඩුවක් ලබාගෙන නොමැති වූ නිසා එම ජනාධිපතිවරණයේදී ඕනෑම පොරොන්දුවක් ජනතාවට ලබාදීමට ඔහුට හැකියාව තිබුණි. එම අවස්ථාව ඔහු ජයග්‍රහණය සඳහා ඕනෑවටත් වඩා උපයෝගී කරගත් බව මේ වන විට ජනතාවට පැහැදිලි වී ඇත.
ආර්ථික අර්බුදයෙන් රට ස්ථාවර කිරීමේ ගෞරවයද 100%ක්ම තම ආණ්ඩුවට ලබා ගැනීමට ආණ්ඩුව කොයිතරම් උත්සාහ කළත්, ඉන් වැඩිම ගෞරවයක් රනිල් වික්‍රමසිංහට හිමි විය යුතු බව ජනතාව දනී. එසේම 2028දී ණය ගෙවීම ආරම්භ කිරීමත් සමග ජනතාවට තවදුරටත් පටි තද කර ගැනීමට සිදුවුවහොත් එහි අවාසිය ද අනුරට ඇත.
තවද මෙම සිංහල ජාතිකවාදී ඡන්දදායකයින්ගේ අදහස් සහ මාලිමාවේ අදහස් කිසිසේත්ම නොගැළපෙන බවද මේ වන විට එම ජනතාව තේරුම් ගනිමින් ඇත. එම නිසා 2024 දී අනුර ලබාගත් 42%ක ඡන්ද ප්‍රතිශතයෙන් 20% කට ආසන්න ප්‍රමාණයක් නැවතත් නාමල්ට එකතු වීම වළක්වාලිය නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත.
ඒ අනුව පැහැදිලි වන්නේ සජිත්ට වැඩිම ඡන්ද ප්‍රතිශතය, එමෙන්ම 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් අනිවාර්යෙන්ම 2029 ජනාධිපතිවරණයේදී ළඟා කර ගත හැකි බවය. අනුර සහ නාමල් අතර දෙවන ස්ථානය සඳහා තියුණු තරඟයක් නිර්මාණය වීමද ඉදිරි ජනාධිපතිවරණයේදී වෙනස්ම අත්දැකීමක් ලබා දිය හැකිය.
Lanka Newsweek © 2026